Ubuntu (උබුන්ටු) - නොමිලේ භාවිතා කළ හැකි ලිනක්ස් මූලාශ්‍ර කොට ඇති මෙහෙයුම් පද්ධතිය

උබුන්ටු යනු ජනප්‍රිය ලිනක්ස් බෙදා හැරීමකි. ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, සර්වර් ආදී නොයෙකුත් දෘඩාංග පරිසරයන්හි උබුන්ටු ස්ථාපිත කළ හැක. නිවසේ, අධ්‍යාපන ආයතනයේ, කාර්යාලය තුළ ආදී නොයෙක් ස්ථානයන්හි උබුන්ටු භාවිතා කළ හැක.

උබුන්ටු ස්වරූප කිහිපයකින් බෙදා හැරේ. ඩෙස්ක්ටොප් සංස්කරණය GUI (Graphical User Interface) මුහුණතකින් සමන්විතය. ලිපි ආදිය සැකසීමට, අන්තර්ජාලය භාවිතා කිරීමට, වීඩියෝ නැරඹීමට ආදී නොයෙකුත් කාර්යයන් සඳහා එය සුදුසු වේ. මීට අමතරව සර්වර් ආදී විශේෂ පරිසර සඳහා බෙදා හැරෙන උබුන්ටු සංස්කරණ පවතියි.

ඩෙස්ක්ටොප් සංස්කරණයෙහි ප්‍රධාන බෙදා හැරීමට අමතරව Kubuntu, Lubuntu, Ubuntu Budgie, Ubuntu Kylin, Ubuntu Mate, Ubuntu Studio, Xubuntu යන නම්වලින් හැඳින්වෙන උබුන්ටු බෙදා හැරීම් වර්ග පවතියි. මේවා උබුන්ටු ෆ්ලේවර්ස් (Ubuntu flavours) ලෙස හැඳින්වේ. https://ubuntu.com/download/flavours යන තැන ඇති පිටුවේ මෙම ෆ්ලේවර්ස්වල ඇති වෙනස්කම් දැක්වේ. සාමාන්‍යයෙන් Ubuntu Mate භාවිතා කිරීම බොහෝ දෙනෙකුට පහසුවක් වනු ඇත. සමහරු ප්‍රධාන උබුන්ටු බෙදාහැරීමට කැමැත්ත දක්වති.

වේගවත් බව අතින් සමහර මෙහෙයුම් පද්ධතිවලට වඩා උබුන්ටු වේගවත් වේ. උබුන්ටු USB පෙන් ඩ්‍රයිව් එකක ස්ථාපනය කර එය පරිගණකයට සවි කොට USB හරහා පරිගණකය බූට් කර මෙය පරික්ෂා කර බැලිය හැකියි. එසේ පරික්ෂා කෙරුමේදී පරිගණකයේ දෘඩ තැටි (hard disk) ආදී ද්වීතියික දත්ත ගබඩා උපාග (secondary storage devices) ඇත්නම් නම් ඒවායේ දත්තවල වෙනසක් නොවන පරිදි ආරක්ෂාකාරීව පරික්ෂා කර බැලිය හැක.

Microsoft Teams, Zoom, Skype යන මෘදුකාංග ද උබුන්ටු තුළ භාවිතා කළ හැක.

Microsoft Windows සහ වෙනත් සමහර මෙහෙයුම් පද්ධති සඳහා සකසා ඇති exe, msi ආදී මෘදුකාංග උබුන්ටු තුළ ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් කළ නොහැක. එසේ වෙතත් උබුන්ටු තුළ නොමිලේම ස්ථාපනය කර ක්‍රියාත්මක කළ හැකි මෘදුකාංග දහස් ගණනක් පවතියි.

මේ වන විට නිපදවෙන ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් බොහෝ විට 64-bit දෘඩාංග නිර්මාණයට (hardware architecture) අනුව නිපදවේ. 64-bit පරිගණකයක උබුන්ටු ස්ථාපිත කළ හැකි වුවත් උබුන්ටු නව සංස්කරණයන් (versions) 32-bit පරිගණකයන්හි ස්ථාපිත කළ නොහැක. එවන් විටෙකදී උබුන්ටු වෙනුවට උබුන්ටුවල මූලාශ්‍රයක් වන ඩේබියන් ලිනකස් බෙදා හැරීම භාවිතා කළ හැක.

උබුන්ටු නිකුත් කිරීම් (releases) LTS සහ සාමාන්‍ය නිකුත් කිරීම් ලෙස වර්ග දෙකකි. LTS යන්නෙන් Long-Term Support යන්න දැක්වේ. LTS නිකුත් කිරීම්වල අඩංගු මෘදුකාංග යාවත්කාලීන කෙරෙන විට ඒවා වසර 5ක කාලයක් තිස්සේ පරිශීලකයින් වෙත නිකුත් කෙරේ. සාමාන්‍ය නිකුත් කිරීම්වලදී එසේ කෙරෙනුයේ මාස 9ක කාලයකටයි. මේ නිසා නවතම මෘදුකාංග සංස්කරණ (versions) භාවිතා කෙරුමට වැඩි කැමත්තක් ඇති අයට සාමාන්‍ය නිකුත් කිරීම් ස්ථාපනය කර භාවිතා කළ හැකියි. එසේ වෙතත් මෘදුකාංග යාවත්කාලීන කෙරුම සඳහා මාස කිහිපයකින් මෙහෙයුම් පද්ධතියම නැවත ස්ථාපනය කරන්නට සිදුවීම බොහෝ දෙනෙකුට කරදරයක් වන බැවින් බොහෝ දෙනෙකු භාවිතා කරනුයේ LTS නිකුත් කිරීම්ය. විශේෂ අවශ්‍යතාවයක් නොමැති නම් නවතම LTS නිකුත් කිරීම භාවිතා කරන්න.

උබුන්ටු තුළ බහුලවම අන්තර්ගත වන්නේ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයි (opensource software). උබුන්ටු ස්ථාපනය කර භාවිතා කිරීමේදී මුදල් ගෙවා කළ යුතු බලපත්‍ර සක්‍රීය කිරීමක් නොමැත. කල් ගතව සිදුවන බලපත්‍ර අක්‍රීය වීමක් ද නොමැත.

උබුන්ටු භාවිතා කෙරුමේදී ඔබට යම් ගැටලුවක් වේ නම් අපගේ විවෘත මූලාශ්‍ර මෘදුකාංග සාකච්ඡා මණ්ඩපයට ඔබගේ ගැටලුව යොමු කරන්න. එහිදී අන් අයට ද උපකාර කරන්න.

උබුන්ටු නිර්මාණය කොට බෙදා හරිනු ලබන්නේ කැනෝනිකල් ආයතනයයි. උබුන්ටු තුළ තව බොහෝ පිරිස් විසින් නිපදවන ලද මෘදුකාංග අන්තර්ගත වේ.
මිල
නීත්‍යානුකූලව භාවිතා කෙරුමට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.