LibreOffice (ලීබ්‍රඔෆිස්) - නොමිලේ භාවිතා කළ හැකි කාර්යාල මෘදුකාංග කට්ටලය

ලීබ්‍රඔෆිස් යනු මුදල් ගෙවීමකින් තොරව භාවිතා කළ හැකි කාර්යාල මෘදුකාංග කට්ටලයකි. විශේෂාංගවලින් පොහොසත් මෙම මෘදුකාංග කට්ටලය බොහෝ අය විසින් භාවිතා කරනු ලැබේ. මෙම කට්ටලයට යෙදුම් (ඇප්ලිකේෂන්ස්) කිහිපයක් ඇතුලත් වේ:

  1. Writer (රයිටර්) යෙදුම ලිපි ලේඛන ආදිය සැකසීම සඳහා භාවිතා කෙරෙන පද සකසනයකි (Word processor).
  2. Calc (කැල්ක්) යනු පැතුරුම්පත් යෙදුමකි (Spreadsheet application).
  3. Impress (ඉම්ප්‍රෙස්) යනු ස්ලයිඩ් ඉදිරිපත් කිරීමේ යෙදුමකි (Slide presentation application).
  4. Draw (ඩ්‍රෝ) යනු රූප සටහන් සහ ඇඳීම් යෙදුමකි (Diagram and drawing application).
  5. Base (බේස්) යනු දත්ත පද්ධති සමඟ ක්‍රියාකිරීමට භාවිතා කෙරෙන යෙදුමකි (Database management application)
  6. Math (මැත්) යනු ගණිත සමීකරණ ලිවීම පිණිස භාවිතා කෙරෙන යෙදුමකි (Mathematical formula editor)

ලීබ්‍රඔෆිස් භාවිතා කොට සකසන ගොනු සුරැකීමේදී (save) Open Document Format (ODF) යන ආකෘතියට (format) අනුව එම ගොනු සුරැකීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. එය ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතන එක්ව සකසන ලද ආකෘතියකි. ඊට අමතරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් සහ තවත් ආකෘති ගණනාවක ගොනු කියවීම සහ ලිවීම සිදුකිරීමට ලීබ්‍රඔෆිස් පහසුකම් සපයයි. එබැවින් එම ආකෘතිවලින් ඇති ගොනු ලීබ්‍රඔෆිස් තුළ විවෘත කොට අවශ්‍ය වෙනස්කම් සිදුකොට එම ආකෘතිවලින්ම සුරැකීම ද කළ හැක. ලිපි ආදිය PDF ආකෘතියෙන් ද සුරැකීම කළ හැක.

ලීබ්‍රඔෆිස් මෘදුකාංග කට්ටලය මෙහෙයුම් පද්ධති (operating systems) ගණනාවක ස්ථාපනය (install) කළ හැක. ලිනක්ස් බෙදා හැරීම් (Linux distributions), මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) සහ මැක්ඕඑස් (macOS) ඒ අතර වේ. බහුල වශයෙන් භාවිතා කෙරෙන ලිනක්ස් බෙදා හැරීම් සමග නිපැයුමේදීම ලීබ්‍රඔෆිස් අන්තර්ගත කොට බෙදා හැරෙන බැවින් එවන් විටෙක ලීබ්‍රඔෆිස් වෙනමම ස්ථාපනය කිරීමක් අවශ්‍ය නොවේ.

විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්) මෘදුකාංග කට්ටලයක් වන ලීබ්‍රඔෆිස් නීත්‍යානුකූලව භාවිතා කෙරුමට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ. ලීබ්‍රඔෆිස් ස්ථාපනය කර භාවිතා කරන්නට යෑමේදී මුදල් ගෙවා සක්‍රීය කෙරුමක් නොමැත. තව ද යම් කලකට පසු මෘදුකාංගය අක්‍රීය වීමක් ද සිදු නොවේ. නිපැයුම්කරුගේ වෙබ් අඩවියට ගොස් මෙහෙයුම් පද්ධතියට (operating system) සහ දෘඩාංග නිර්මාණයට (hardware architecture) ගැළපෙන ලීබ්‍රඔෆිස් ස්ථාපන මෘදුකාංගය (LibreOffice installation software) නිපැයුම්කරුට මුදල් ගෙවීමකින් තොරව බාගත කර ගත හැක.

ලීබ්‍රඔෆිස් භාවිතා කෙරුමේදී ඔබට යම් ගැටලුවක් වේ නම් අපගේ විවෘත මූලාශ්‍ර මෘදුකාංග සාකච්ඡා මණ්ඩපයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

ලීබ්‍රඔෆිස් The Document Foundation (TDF) හි ව්‍යාපෘතියකි. එය ලේඛන හැසිරවීමේ විවෘත මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය කරනු ලබන ලාභ නොලබන සංවිධානයකි.
මිල
නීත්‍යානුකූලව භාවිතා කෙරුමට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.